මෙරට පළමු චන්ද්‍රිකාව ලෙස රාවණා – 1 ගුවන් ගත වෙයි

READ IN 2 MINS

ශ්‍රී ලංකාව සැබැවින්ම දක්ෂ දූ පුතුන් රැසකින් සමන්විත වූ රටක්. මේ බව සනාථ කරමින් පසුගිය දා මෙරට පළමු චන්ද්‍රිකාව ගුවන් ගත කෙරුණා. එයට නම යොදලා තිබුණේ රාවණා – 1 ලෙසයි. මේ රාවණා – 1 ගුවන් ගත වීමත් එක්ක ශ්‍රී ලංකාවේ නමත් අභ්‍යවකාශ ඉතිහාසයට එකතු වුණා කියන්න පුළුවන්. ඉතින් මේ සුදානම ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ගැන තොරතුරු බෙදා හදා ගන්නයි.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවණා 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතයි. නාසා ආයතනයට අයත් ඇමරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් එය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන්. 2019 අප්‍රේල් මාසේ 18 වෙනිදා ගුවන් ගත කෙරුණු මේ අභ්‍යවකාශ යානය අප්‍රේල් 19 වෙනිදා වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතයි. එය එසේ අභ්‍යවකාශගත කෙරුණත් එය නියමාකාරයෙන් කක්ෂ ගත වීමට තවත් මාසයක පමණ කාලයක් ගත විය හැකි බව තමයි මේ ගැන තොරතුරු හොයද්දි දැනගන්නට ලැබුණේ.

රාවණා 1 චන්ද්‍රිකාවේ ප්‍රමාණය ගැන කියනවා නම්, එය 11.3 cm x 10 cm x 10 cm ප්‍රමාණයකින් යුක්ත වෙන බව තමයි වාර්තා වෙන්නේ. එහි ස්කන්ධය 1.05 kg ක්. රාවණා -1 හි ආයු කාලය විදියට ඔවුන් දක්වලා තියෙන්නේ වසර එකහමාරකට ආසන්න කාලයක්. වාර්තා වල සඳහන් වෙන ආකාරයට මේ චන්ද්‍රිකාව missions 5 ක් සාර්ථක කර ගැනීමේ අරමුණින් තමයි අභ්‍යවකාශගත කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව සහ ඒ අවට ප්‍රදේශ වල සුවිශේෂී ඡයාරූප කීපයක් ලබා ගැනීමත් ඒ අතරට අයත්.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රකාව ගැන කතා කරද්දී එහි නිර්මාතෘවරුන් ගැන කතා නොකරම බැහැ. ඔවුන් නමින් තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා. තරිඳු දයාරත්න ගැන කියනවානම්, ඔහු පින්නවල ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තම ඉංජිනේරු උපාධිය ලබා ගෙන තියෙනවා. දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ සහ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. ආසියානු තාක්ෂණික අධ්‍යනායතනයේ උපාධිදාරිනියක් වන ඇය, තරිඳු දයාරත්න සමගින් ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුර තමයි රාවණා – 1 නිර්මාණය කරලා තියෙන්නේ. ඒ BIRDS 3 Satellite Project එකට අදාළවයි.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සලකුණ තැබූ ඔවුන් දෙපළව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි අගය කල යුතුයි. තවත් ඉදිරියටත් රටට ලෝකයට සේවයක් කරමින් ශ්‍රී ලාංකිකත්වය ලොව පුරා බබළවන්නට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ඔවුන්ට ලැබේවා’යි අපි ප්‍රර්ථනා කරමු.

ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම ගැන දැනගන්න ලැබුණේ තොරතුරු තමයි මේ ලිපියෙන් බෙදා හදා ගත්තේ. මේ ගමන ගැන තොරතුරු බොහොමයක් අපිට ඉදිරියේදී දැනගන්නට ලැබේවි. ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ගැන තවත් තොරතුරු හොයලා බලන්නත් අමතක කරන්න එපා.

රාවණා – 1 අභ්‍යවකාශගත කරන අවස්ථාව මේ video එකෙන් ඔබට දැකගන්නට පුළුවන්.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *