මරණයට අත වනන සිගරැට්ටුවේ කතාව

READ IN 5 MINS

දුම්වැටියක් කියන්නේ මොකක්ද කියලා පොදුවේ ඔබ අපි හැමදෙනාම දන්නවා. දුම්වැටියේ ඉතිහාසය හොයාගෙන යනකොට එක 5000 BC වගේ ඈතකට දිව යනවා. හරියටම පටන් ගත්තේ මෙතනින් කියන්න බැරි වුනාට ඒ කාල වකවානුව තුල විවිධ ගෝත්‍ර, ජන කණ්ඩායම් විවිධ වූ හේතුන් සඳහා දුම් පානය කළ බවට සාක්ෂි සාධක හමුවෙනවා (උදා:- මායන් ශිෂ්ටාචාරය..). සමහරක් ජන කණ්ඩායම් තමන්ගේ මෙය චාරිත්‍රයක්, පුරුද්දක් බවට පත් කරගෙන තිබුනා (උදා:- මෙක්සිකානු ජන කණ්ඩායම්..). ඒ වගේම ඔවුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට වර්තමානයේ අප කංසා නමින් හඳුන්වන ශාකයේ පත්‍ර භාවිතා කළා. නාවිකයන් අතර මෙන්ම සීත දේශගුණයන්ගේ වාසය කරන්නන් අතරද දුම්බීම කෙමෙන් ජනප්‍රිය වුණා.

වර්තමානයේ විවිධ වූ නම් වලින් විවිධ වූ ආකාර වලින් ඇති දුම්වැටියේ පරිණාමය ආරම්භ වුයේ 16වන සියවසෙන්. ඇමරිකාව සහ යුරෝපීය අනෙකුත් රටවල් වල වාණිජමය පරමාර්ථය මත දුම්කොළ වගාව ආරම්භ වුවෙත් මෙම කාල වකවානුවේදීමයි. කෙසේ නමුත් අද වන විට ලෝකයේ විශාල ඉල්ලුමක් මෙම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වලට හිමිවෙලා තියනවා. එයට සාපේක්ෂව විශාල තරඟයක්ද දුම්කොළ සමාගම් අතර නිර්මාණය වෙලා තියනවා.

මෙම තරඟකාරීත්වය මත තමන්ගේ පාරිභෝගිකයන් රඳවා ගැනීම සඳහා මෙම සමාගම් තම තමන්ගේ නිෂ්පාදන වලට විවිධ වූ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ ඒ දුම්වැටියට අදාළ වූ වර්ණය, රසය, කල්පැවැත්ම වැනි දේවල් රඳවාගන්න වුවමනා නිසයි මෙම රසායනික ද්‍රව්‍යන් යොදාගන්නේ. දුම්කොළ ශාකය හෙවත් Nicotiana ශාකය කුඩා අවධියේ පටන්ම විවිධ වූ රෝගයන්ගෙන්, කෘමින්ගෙන් ආරක්ෂා වීම ඇතුළු නොයෙකුත් හේතුන් සඳහාද මෙම විෂ රසායන ද්‍රව්‍යන් භාවිතා කරනවා. අද ලෝකයේ බෝ නොවන රෝග අතරිත් ප්‍රධානම තැනක් ගන්නේ මේ දුම්වැටි නිසා ඇතිවන රෝගයි. මෙමගින් ඇතිවන රෝග බොහොමයක්ම දිගු කාලීනව රෝග, එහෙමත් නැත්නම් පිළිකාවන්.

සාමාන්‍ය දුම්වැටියක් සලකා බැලුවම පිළිකා කාරක රසායන ද්‍රව්‍ය පමණක් 70 කට වඩා තියනවා. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේවා අන්තර්ගතයි.

Tar_තාර : මෙය ඉතාමත්ම කුඩා ඇලෙන සුළු අංශු විදියට පවතිනා රසායනිකයක්.මේවා පැහැයෙන් කළු, දුඹුරු වර්ණයක් ගන්නවා. පිළිකාකාරක (carcinogens) රාශියක් මේ තුල අන්තර්ගතයි. දිගුකල් දුම් පානය කරන්නන්ගේ ස්වසන මාර්ගයේ මේවා තැන්පත් වෙනවා. ඒ වගේම කාලයත් සමගම පෙනහළු තුළටද කිඳා බැහැල සදාකාලික හදවත් රෝගියෙක් බවට පත්වීමේ වාසනාවද ඔබට උදාකරලා දෙනවා. දත් දුර්වර්ණවිමට, මුඛ පිළිකා ඇතිකිරීමටද මෙය ප්‍රධාන රෝගකරකයක් වෙනවා.

Carbon monoxide (කාබන් මොනොක්සයිඩ්)

මේක තියෙන්නේ වායුවක් විදියට. නිර්වර්ණයි (පාටක් නැහැ). වාහන වල එන්ජිමක් අර්ධ දහනයෙන් පිට කරන්නෙත් මෙම වායුවමයි. මෙය ශරීරයට විෂ සහිතයි. දුම් පානය කරන්නන්ගේ ලේ තුලට මෙය ඇතුළු වෙනවා. කෙටියෙන් කියනවනම් මෙය මගින් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ අවයවයන්ට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන එක. එක අපේ ඉන්ද්‍රියන්ගේ කල් පැවැත්මට මෙන්ම නිවැරදි ක්‍රියාකාරීත්වයටත් කෙලින්ම බලපානවා.

Oxidizing chemicals (ඔක්සිහාරක රසායනිකයක්)

මේවා ගොඩාක් ප්‍රතික්‍රියාශීලි රසායන ද්‍රව්‍ය. මේවා කෙලින්ම හදවතේ පේශීන්ට හා රුධිර නාල වලට හානි කරනවා. මෙම රසානයනිකයන්, මේදය (cholesterol) එක්කත් ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා. මේ හේතුව නිසා ධමනි බිත්ති වල මේදය තැන්පත්වීම් වැඩි අවදානමක් දුම් බොන අයට තියනවා. මෙය හදවත් රෝග වලට හා ලේ කැටි සිරවීමට ප්‍රධාන හේතුවක්.

Metals (ලෝහ)

පිළිකාරෝග සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන බැර ලෝහ වර්ග රාශියක් දුම්වැටි තුල අඩංගු වෙනවා ( ආසනික්-arsenic, බෙරිලියම්-beryllium, කැඩ්මියම්-cadmium, ක්‍රෝමියම්-chromium, කොබෝල්ට්-cobalt, ඊයම්-lead සහ නිකල්-nickel)
දුම්බීම මගින් ශරීරයට විවිධ ආකාරයේ ලෙඩ රෝග පැකේජ් එකක්ම දෙනවා. 

මේක අදාල වෙන්නේ බොන අයට විතරක්ම නෙවෙයි. දුම් බොන අය අසල ඉඳල එයාල පිට කරන දුම අපිට ආග්‍රහණය වුනත් මෙම රෝග සෑදීමේ අවදානම ඒ විදියටම තියනවා. එහෙම අයව හඳුන්වන්නේ අක්‍රීය දුම් පානය කරන්නන් විදියට. 

අපි බලමු මොනවද මේ පැකේජ් එකට අයිති කියලා..

1.ස්වසන පද්ධතිය (respiratory system) ආශ්‍රිත ගැටළු,   

ස්වාසනාලයේ හා ගලනාලයේ වේදනාවන්/ඉදිමීම් පෙනහළු වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම. පෙනහළු වලට අනෙකුත් රෝග වැළඳීමේ අවදානම වැඩි වීම. හුස්ම ගන්නා විට අධික මහන්සියක් දැනීම පෙනහළු වල ඇති සියුම් පටක වලට ස්ථීර හානි සිදුවීම.

2.රුධිර සංසරණ පද්ධතිය (circulatory system) ආශ්‍රිත ගැටළු,

රුධිර පීඩනය සහ හදවත ගැස්මේ වේගය වැඩිවීම.රුධිර නාල අවහිරවීම්.රුධිරය කැටිගැසීමට වැඩි නැඹුරුවක් දැක්වීම. ප්‍රධාන රුධිර නාල තුල මේදය තැන්පත් වීම. ඇඟිලි තුඩු වැනි ශරීරයේ කෙලවර පිහිටි කොටස් වලට රුධිර ගමනාගමනය නිසි ආකාරව සිදු නොවීම.heart attack වලට වැඩි අවදානමක් ඇති වීම.

3.ප්‍රතිශක්තිකරණ පද්ධතිය (immune system) ආශ්‍රිත ගැටළු,    

නියුමෝනියාව සහ ප්‍රතිශ්‍යා රෝග (pneumonia and influenza) වැළඳීමට වැඩි අවධානයක් ඇත.දිගුකල් පවතින සහ ස්ථිර රෝගයන් සෑදීමේ වැඩි සම්භාවිතාවක් ඇත.

4.අස්ථි පද්ධතිය (skeleton system) ආශ්‍රිත ගැටළු,  

අස්ථි වල ගණත්වය අඩු වීම මාංශ පේශීන් තද වීම.

5.ලිංගික ඉන්ද්‍රියන්ගේ (sexual organs) ඇතිවන ගැටළු,

පිරිමි පාර්ශවයට                                                                                                            

අඩු ශුක්‍රානු ප්‍රමාණයක් නිපදවීම. ශුක්‍රානු විශාල වශයෙන් විකෘති වීම. ශුක්‍රානු වල ජානමය වෙනස්කම් සිදුවීම. ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම.

කාන්තා පාර්ශවයට                                                                                                    

ඔසප් චක්‍රය අක්‍රමවත්විම හෝ නියමිත කාලයට ඔසප් නොවීම.ඩිම්භ වල සරු බව අඩු වීම.ගැබ්ගෙල පිළිකා සැදීමේ අවදානම. ගැබ්ගැනීම වලක්වන ඖෂධ contraceptive pill භාවිතයේදී, හදවත් රෝග සැදීමට ඉතා වැඩි අවධානමක්ඇත. ඒ වගේම මවගේ, පියාගේ දුම් පානය නූපන් දරුවාටද බලපාන්න ලොකු ඉඩකඩක් තියනවා.ගබ්සා වීම්, මළ දරු උපත් වගේම නොමේරු දරු උපත් වලටත් වගේම දුර්වල පෙනහළු ඇති දරුවන් බිහිවන්නද මේක ප්‍රධානම හේතුවක් වෙනවා. අඩු බර උපත් හා විකෘති තොල් ඇති දරුවන් බිහිවීමටද දුම් පානය යම්තාක් හේතු වෙනවා.

6.වෙනත් ගැටළු,    

විදුරුමස් රෝග (periodontists). අන්ධභාවය ඇතිවීමේ අවධානම. හම රැළි වැටීම. ගඳ සුවඳ සහ රස නොදැනීම.

7.ඉතාමත් දිගු කාලයක් පුරාවට දුම් පානය කරන අයෙකුට,    

පෙනහළු, මුඛය, නාසය, ගලනාලය, දිව අන්නසෝත්‍රය, උගුරු දණ්ඩ, අග්න්‍යාශය, ඇට මිදුළු, වකුගඩු, ගර්භාෂය, ඩිම්භකෝෂය, මුත්‍රවාහිනී, අක්මාව, මුත්‍රාශය, බඩවැල අශ්‍රිතව පිළිකා සෑදීමේ ඉතාමත්ම වැඩි ඉඩකඩක් (95% ක් පමණ) තියනවා. ඒ වගේම හදවත් රෝග වලින් නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මිට අමතරව අස්ථි බිඳීයාමේ රෝගය (osteoporosis), ආහාර ජීරණ පද්ධතියේ තුවාල, දියවැඩියාව ආකාර 2 (type 2 diabetes) වගේ රෝග රාශියක ආඩම්බර හිමිකාරයෙක් වෙන්නත් පුළුවන්කම තියනවා.

පොඩි වයසේ ඉඳලම ගොඩාක් අය දුම් බොන එක දැන් පුරුද්දක් කරගෙන ඉන්නේ. ඒ කරන හැම දෙනාම මේකේ විපාක ගැන හොඳටම දන්නවා. තැන ගැන වගේම අනිත් අය ගැනත් හිතන කෙනෙක් නම්, තමන් වටේ ඉන්න, ආශ්‍රය කරන අය ගැන හිතන, ඔවුන්ට ආදරය කරන කෙනෙක් නම් දුම් පානය නතර කරන්න දැන් කාලය ඇවිත්. රජයක් විදියට සැලකල බැලුවම පිළිකා රෝගීන් සඳහා ලොකු මුදලක් වෙන් කරනවා. නිකරුනේ තමන් විසින්ම හදාගන්න ලෙඩ රෝග වලට වියදම් කරන්නේ අපේම ආදරණිය රටවැසියන්ගේ බදු සල්ලි. ඒ වගේම ලෙඩ රෝගයක් හැදුනම තමන් විතරක් නෙවෙයි තමන් වටේ ඉන්න අයත් එකෙන් පීඩා විඳිනවා. ඉඩ තියන වෙලාවක මහරගම පිළිකා රෝහලට ගිහින් අසරණ රෝගීන් දිහා බලල එන්න. විවිධ මත්ද්‍රව්‍ය නිසා රෝගයන්ට ගොදුරු වූ තරුණ තරුණියන් කී දෙනෙක් ඉන්නවද බලන්න. මේ පිළිබඳව නීති රීති දාල මිනිස්සුන්ව වලක්වනවට වඩා හොඳම දේ වෙන්නේ ත තමන්ගේ ආකල්ප හදාගෙන ස්වයං විනයකින් තමන් පාලනය වෙන එක.     

මේ ලිපිය කියවූ ඔබ අනිවාර්යෙන්ම බුද්ධිමත් පුද්ගලයෙන්. වාසනාවකට ලැබුණු මේ මිනිස් ජීවිතය, තාවකාලික මානසික සතුටක් නිසාවෙන් නිකරුනේ විනාස කරගන්නවද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය බුද්ධිමත් ඔබට බාරයි.

You may also like...

4 Responses

  1. Dhananjaya says:

    Watinwa bn

  2. kalana rajapaksha says:

    Nice

  3. Emantha says:

    නියමයි සහෝදරයා… වැදගත් අපි හැමෝටම….

  4. Thisara neo says:

    වටිනවා ලිපිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *