ඔයා Introvert කෙනෙක්ද? Extrovert කෙනෙක්ද?

READ IN 3 MINS

Introvert සහ Extrovert ගැන ඔයාලා අහල ඇති. හැම මනුස්සයෙක්ම Introvert හෝ Extrovert යන දෙවර්ගයෙන් එකකට අයිති වෙනවා. මේ දෙවර්ගයෙම ලක්ෂණ සමානව තමන්ගේ පෞරුෂත්වයේ අඩංගු කෙනාට Ambivert කෙනෙක් කියලා කියනවා.

හැමෝම කියන විදිහට Introvert කියන්නේ ලැජ්ජා සහගත, වැඩිය සමාජ ආශ්‍රයක් නැති, මුලු ගැන්විලා සිටින පිරිසක් සහා Extrovert කියන්නේ මිතුරෝ ගොඩක් ඉන්න ඕනම කෙනෙක් එක්ක කතාබහ කරන social events වලදි මුල් තැන ගන්න පිරිසක් කියලා. නමුත් සාමාන්‍ය බහුතර දෙනා සිතාගෙන සිටින ආකාරයට මේ මතය 100% ම නිවැරදි නැහැ.

Introvert කෙනෙක් කියන්නේ කවුද?

මනෝවිද්‍යාවට අනුව, Introvert කෙනෙක් කියන්නෙ තමන්ට අවශ්‍ය මානසික ශක්තිය තමා විසින්, තමා තුලින්ම නිපදවා ගැනීමට(Self-Charge) ප්‍රමුඛත්වයක් දෙන පුද්ගලයා. ඔවුන්ට විශාල පිරිසක් සිටින ස්ථානයක වැඩි වේලාවක් ගත කිරීමට අපහසුයි. එය ඔවුනට දැනෙන්නෙ තමන්ගේ ශක්තියෙන් හීන වෙනවා හෝ අනෙක් අය එය උරාගන්නවා වගේ හැඟීමක්, ඉතා ඉක්මනින් මහන්සි දැනෙනවා. එවිට ඔවුන්ට අවශ්‍ය එකම දේ ඉතා ඉක්මනින් එතැනින් ඉවත්වෙලා හුදෙකලා වෙන්න. කොටින්ම කිව්වොත් දමලා ගහලා ගෙදර යන්න. ඔහුට ආපහු නැතිවුන ශක්තිය ලබාගන්න නම් තනියෙම තමන්ගෙ වැඩක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න එක තරම් ලේසි දෙයක් වෙන දෙයක් ඇත්තෙ නැහැ.

Extrovert කෙනෙක් කියන්නේ කවුද?

Extrovert කෙනෙක් කියන්නෙ තමන්ට අවශ්‍ය මානසික ශක්තිය පිටස්තර පරිසරයෙන්/පුද්ගලයන්ගෙන් ලබාගැනීමට ප්‍රමුඛත්වයක් දෙන පුද්ගලයා. මොහුට තනියෙම හුදකලාව ඉන්න එක Introvert කෙනෙක්ට සාදයක ඉන්නවා වගේ එපා කරපු වැඩක්. තනියෙම සිටීම ඔවුනට දැනෙන්නෙ එපා වෙන, තමන්ගේ ශක්තිය හීනවෙන හැඟීමක් විදිහට. ඔහුට ආපහු නැතිවුන ශක්තිය ලබාගන්න නම් අඩුම තරමේ වෙනත් පුද්ගලයෙක් සමග කතාබහ කරන්න හරි අවශ්‍යයි.

Introverts ගැන තිබෙන ලොකුම මිත්‍යා මතය

ලැජ්ජ කෙනෙක් නම් ඔහු Introvert කෙනෙක් කියන එක සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. මිනිස්සු එහෙම හිතන්න හේතුව වෙලා තියෙන්නේ Introvert ලා තනියෙම ඉන්න කැමැති, වැඩිය කතා බහ නොකරන අය නිසයි. ඇත්තටම Introvert ලා කතා කිරිමට වඩා ලිවීමට දක්ෂ බව Introvert කෙනෙක් වෙන මේ ලිපිය ලියන මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. Introvert කෙනෙක් කියන්නෙ කිසිසේත්ම ලැජ්ජ කෙනෙක් නොවන බව ලෝක ප්‍රසිද්ධ Introverts ලා වෙන බිලියනපති බිල් ගේට්ස්, ඉන්දියාව නිදහස කරා මෙහෙයවූ මහත්මා ගාන්ධි, විශිෂ්ට බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු වන මයිකල් ජොදාන්, විකට නලු චාලි චැප්ලින් සහ මහා බ්‍රිතාන්‍යයයේ දෙවැනි එලිසබෙත් රැජින හදුන්වා දිය හැකියි.

Introvert සහා Extrovert කියන්නෙ එක සමාන වටිනාකමක් තිබෙන චරිත දෙකක්. දෙකෙන් කිසිම එකක් අනිත් එකට වැඩිය උසස් හෝ පහත් කියලා එකක් නැහැ. Introvert කෙනෙක් කිසිම විටෙක් Extrovert කෙනෙක් වෙන්න මහන්සි ගන්න අවශ්‍ය නැහැ. Extrovert ලා හිතන්නේ Introverts ලගේ ජීවිත හරිම අදුරු, කිසිම විනෝදයක් නැති ඒවා කියලා නමුත් Extrovert කෙනෙක්ට සාදයකට යනවා හා සමානම විනෝදයක් Introvert කෙනෙක්ට ගෙදර ඉදන් පොතක් බලන එකෙන්, චිත්‍රපටියක් බලන එකෙන් ලැබෙනවා කියන එක තමා සත්‍ය. සියලුම අයට තම තමන්ට ආවේනික ශක්තීන් හා දුර්වලතා තියෙනවා. තමාගේ ශක්තීන් හදුනාගෙන ඒවා දියුණු කරගන්න එකයි අවශ්‍ය වෙන්නේ.

Extroverts ලට ගිය ලෝකය…

හැබැයි ලෝකය දිහා බැලුවම ඕනම කෙනෙක්ට පේන දෙයක් තමා මේ ලොකේ හැඩ ගැහිලා තියෙන්නේ Extroverts ලට වැඩි වාසි අත් වෙන විදිහට. උදාහරණයක් විදහට කිව්වොත් අද කාලේ හොඳ රස්සාවකට යන්න නම් හොද communication skills සහා presentation skills වගේ දේවල් තියෙන්න ඕන. ඉතින් මේවා ගොඩක් වෙලාවට Extroverts ලට උපතින්ම තියෙනවා එහෙම නැති උනත් එවා දියුණු කරලා ඔප මට්ටම් කරන එක Extrovert ට එච්චර අපහසු කාරණයක් නෙවෙයි. නමුත් මේ දේවල් ගොඩක් Introverts ලට නයාට අඳු කොළ වගේ. පිරිසක් ඉස්සරහා කතාවක් කරන්න වුනොත් එතනින් ඉක්මනට අයින් වෙලා යන්නේ කොහොමද කියන එක තමා Introvert කෙනෙක්ට වැදගත් කාරණය වෙන්නේ. ඒ ලැජ්ජා නිසාම නෙවෙයි එයට මූලික හේතුව ශක්තිය හීන වීමයි.

මේකට තියෙන එකම විසදුම තමයි හැකි තරම් තමන්ට පුලුවන් විදිහට තමන්ගේ දක්ෂතා කුසලතා දියුණු කරගන්න මහන්සි වෙන එක. තමන්ගෙ ජිවිතේ තියෙන්නෙ තමන්ගෙ අතේ අනිත් අයට පුලුවන් මග පෙන්වන්න විතරයි. කලින් මම නම් වශයෙන් කියපු ලෝක ප්‍රසිද්ධ Introverts ලා දිහා බැලුවම ඔයලාටම තේරෙනවා ඇති ඒක කරන්න බැරි වැඩක් නෙවේ කියලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කිසිම කෙනෙක් 100% ම Introvert හෝ Extrovert කෙනෙක් නෙවෙයි. සමහර අවස්තා වලදී අපේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්. කුඩා කාලයේ ඉදන් වැඩිම ප්‍රමුඛතවයක් ලබා දීල පෝෂණය කළේ කුමන පෞරුෂත්ව ලක්ෂණද කියන එක මතයි ඔයා Introvert කෙනෙක්ද Extrovert කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ.

ඔයා Introvert කෙනෙක්ද? Extrovert කෙනෙක්ද?

විනාඩි දෙකේ මේ Online Test එකෙන් ඔයාම ඒක දැන ගන්න. Comment එකක් දාලා result එක අපිටත් කියලම යන්න අමතක කරන්න එපා.

Haritha Kusal

Just another Human being, Who knows a Little bit Of Everything...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *