Faceapp ඇත්තටම ආරක්ෂිතද?

READ IN 3 MINS

ගෙවුණු දින කීපය තුළ ඔබත් සමාජ ජාල වෙබ් අඩවි වල නිරන්තරයෙන් ගැවසුණු කෙනෙක් නම් Faceapp කියන දේ ඔබට කොහෙත්ම නුහුරු නුපුරුදු දෙයක් වෙන්න බැහැ. නමුත් මොකක්ද මේ Faceapp? ඒ ගැන ඇත්තටම තාමත් හරි අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් මුලින්ම Faceapp ගැන පුංචි හැඳින්වීමක් කරලා ඉන්නම්.

Faceapp කියන්නේ මිට අවුරුදු දෙකකට විතර කලින්, හරියටම කියනවා නම්, 2017 අවුරුද්දේදී මුලින්ම කරළියට හඳුන්වා දුන් mobile application එකක්! රුසියානු ජාතික සමාගමක් වෙන, Wireless Lab කියන සමාගම තමයි මේ app එක නිර්මාණය කරලා තියෙන්නේ. Android සහ iOS කියන operating platforms දෙක සඳහාම හඳුන්වා දී තිබුණු මේ FaceApp එක, එදා පටන්ම Google Play Store සහ Apple App Store එක හරහා download කරන්න අවශ්‍ය ඉඩ කඩ නිර්මාණය වෙලා තිබිලා තියෙනවා. අපි app එකට ලබා දෙන පින්තුර වල මුහුණු හඳුනාගෙන, අපි තෝරාගන්න filters අනුව එම පින්තුරයට තරුණ බවක් එක්කර පෙන්වීමටත්, වයස්ගත් පෙනුමක් සහිතව පෙන්වීමටත් වගේම අපූරු වෙනස්කම් සහිත එම පින්තුර download කරගන්නත් පුලුවන් විදියට තමයි මේ FaceApp එක නිර්මාණය කරලා තියෙන්නේ.

අවුරුදු දෙකක් පරණ app එකක් මේ විදියට එකවරම ජනප්‍රියත්වයට පත් වෙන්න හේතු වුණේ මොකක්ද? ගොඩක් දෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් මතු වෙන්න පුලුවන්. මෙයට හේතු වෙලා තියෙන්නේ ලොව පුර ජනප්‍රිය තලයේ තරු රැසක් විසින් #faceappchallenge නමින් සමාජ ජාල හරහා රැල්ලක් ඇති කිරීමයි. මෙහිදී සිදු වෙලා තියෙන්නේ ඔවුන් FaceApp භාවීතයෙන් තමන්ගේ පින්තුරයක වයස්ගත පෙනුම ඇති පින්තුරයක් ලබාගෙන එය සමාජ ජාල හරහා තමන්ගේ මිතුරන් සමගින් බෙදා හදා ගැනීමයි. කෙසේ නමුත් මේ හරහා FaceApp සඳහා ලැබුණු ප්‍රසිද්ධිය කොතෙක්ද කියනවා නම්, ගෙවුණු දින කීපය තුළ මේ app එක download කිරීමේ සිඝ්‍රතාවය ඉතාමත් අධික ලෙස ඉහල ගිය බවට වාර්තා වෙලා තිබුණා.

මේත් එක්කම ලොව පුරා තවත් වැදගත් කරුණක් සාකච්ඡාවට බඳුන් වුණා. ඒ FaceApp එකේ ආරක්‍ෂිත භාවය පිළිබඳවයි. මේ app එකට සම්බන්ධ face-changing algorithms තව දුරටත් දියුණු කර ගැනීමට නම්, පුද්ගලයින් මේ app එකට submit කරන පින්තුර අධ්‍යනය කිරීම වැදගත් වෙනවා. එම නිසා බොහෝ විට මේ ආකාරයට මේ app එක භාවිතා කරන්නන්, මේ app එකට ලබාදෙන පින්තුර, රුසියානු සමාගමට අයත් server එකක ගබඩා විය හැකි බවට සැකයක් මතු වී තිබෙනවා. කොහොම වුණත් මේ ගැන විස්තර හොයද්දි දැනගන්න නම් ලැබුණේ භාවිතා කරන්නා විසින් app එකට ලබා දෙන පින්තුරය හැරෙන්නට, device gallery එකේ තියෙන වෙනත් කිසිම පින්තුරයක් මේ app එක විසින් ලබා නොගන්නා බවයි. කෙසේවෙතත් FaceApp එකේ Privacy Policy එකට අනුව, එය භාවිතා කිරීමට පළමුව, භාවිතා කරන්නාගේ smart device එකේ අන්තර්ගත location information සහ browsing history ලබා ගැනීමට භාවිතා කරන්නාගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම Privacy Policy එකේ භාවිතා කරන්නන්ගේ දත්ත විකිණීමෙන් වළකින බවට ප්‍රකාශ කළත්, වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා එම දත්ත සහ තොරතුරු ලබා ගන්න බවට දක්වන්නටත් ඔවුන් අමතක කර නැහැ.

කොහොම වෙතත් අද අපි ජීවත් වෙන ලෝකයේ, අපේ අතේ තියෙන smart devices හරහා අපේ මුළු ජීවන රටාවම වෙනත් පාර්ශවයන්ට මොනයම් හෝ ආකාරයකින් දැනගන්නට ලැබෙන බව නම් නොරහසක්. එවන් වාතාවරණයක් යටතේ FaceApp එකේ ආරක්‍ෂිත බව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුද යන්න ගැටලුව කෙනෙක්ට මතු වෙන්න පුලුවන්. ලෝකය පුරා මේ පිළිබඳව කතා බහට ලක්වුණත් FaceApp හි ප්‍රධාන විධායක නිලධාරියා වන, Yaroslav Goncharov, තවමත් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. ඒ නිසාවෙන්, වඩාත් සුදුසු වෙන්නේ මේ වගේ applications සඳහා අපි access ලබා දෙන්නේ මොන වගේ තොරතුරු සඳහාද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කර කල්පනාකාරීව මේ වගේ mobile applications භාවිතා කිරීමයි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

Sandali Siriwardane

Undergraduate | BSc in IT - RUSL| CIMA | BCS | I always love to help people make things better and aspire to be the best version of myself. Furthermore I'm a tech enthusiast, technical writer, music lover and a volunteer.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *