යෝකර් ලොවේ රජු මාලිගේ සමුගැනීම

READ IN 3 MINS

1983 අගෝස්තු මස 28 වන දින ගාල්ලේදී උපත ලද සෙපරමාදු ලසිත් මාලිංග නොහොත් සකළ ලෝකවාසී ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේම ආදරය, ආකර්ෂණය දිනාගත් ‘මාලි’ අද (26)  අවසන් තරඟයට ක්‍රීඩා කරනු ලබන්නේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගිනි. කුඩා අවදියේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ලැදි කමක් දැක්වූ මාලි කුඩා කල සිටම තමන්ට ආවේණික වූ පන්දු විලාශයකින් ගුවනේ පන්දු පා කරන ලදි.

කුඩා කාලයේ රත්ගම වැල්ලේ සිය මිතුරන් සමග ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන විට තමා කෙදිනක හෝ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වන බවට කිසිදාක නොසිතන්නට ඇත. විද්‍යාතිලක විද්‍යාලයෙන් විද්‍යාලෝක විද්‍යාලයට පිවිසෙන මාලි ලෙදර් පන්දුවෙන් මනා දස්කම් දැක්වීය. ඔහුගේ මෙම සුවිශේෂී පන්දු විලාශය හමුවේ අසරණ වන පිතිකරුවන් දුටු එවක ගාලු ක්‍රිකට් සමාජය නියෝජනය කළ චම්පක රාමනායක මොහුට ගාලු ක්‍රිකට් සමාජය සදහා එක්වන ලෙස ආරාධනා කරන ලදි. ඒ අනුව එම ඇරයුම පිළිගත් මාලිංග පළමු පෙළ ක්‍රිකට් තරග සදහා ද එක්වන්නේ කුඩා අවදියේ දී මය. ඉන් නොනැවතුණු චම්පක රාමනායක මොහුව ගාල්ල මහින්ද විද්‍යාලයට එක් කරගැනීම වෙනුවෙන් ද සිදුකරන්නේ සුවිශේෂී කාර්යභාරයකි. ඒ අනුව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් තම පාසල් දිවිය නිමාකරගැනීමට මාලිංග ට හැකිවිය.

2004 වසරේ ජූලි මස ඔස්ට්‍රේලියාව සමග තරගයෙන් ටෙස්ට් වරම් දිනාගන්නා මාලි ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නා ලද 99 වෙනි ක්‍රීඩකයා ලෙසිනි. එමෙන්ම එම වසරේම ජූලි මස එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග තරගයෙන් එක්දින වරම් දිනාගත් මාලි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 123 වන ක්‍රීඩකයා ලෙසට ඉතිහාසයට එක්විය.

පිතිකරුවන්ට පහර දීමට අපහසු මෙම පන්දු විලාශය පිළිබඳ මුලු ලෝකයේම අවධානය හිමිවිය. මේ සදහා ඔහුට “ස්ලිංගා” යන අන්වර්ථ නාමය ද පටබැදුණි. 2007 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මොහුගේ පන්දු යැවීම දුටු සර් ව්.අයි.වි රිචඩ්ස් පවා පුදුමයට පත් විය. මාලිගේ පළමු එක්දින ලෝක කුසලානය තරගාවලිය වන්නේ 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. මෙහිදී සුපිරි 8 වටයේ තරගයකදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවිය. එහිදී ලසිත් මාලිංග පිට පිට යැවූ පන්දු 4කින් කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. ඔහු වාර්තා පොත් අතරට එක්වූයේ මෙම දස්කම දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි. එසේම මෙම වාර්තාව කිසිවෙකුටත් අදටත් බිඳ දැමීමට නොහැකි විය.

එසේම 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද කෙන්යාව සමග තරගයෙන් ද කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට මාලිංගට හැකිවිය. මේ අනුව මාලිංග වාර්තා පොත් අතර සදහන් වන්නේ මෙම දස්කම දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි. පන්දුවෙන් මෙන්ම අවශ්‍ය විටකදී පිත්තෙන්ද දස්කම් දක්වන මාලි මැතිව්ස් සමග එක්ව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ එක්ව ගොඩනගන ලද 132 ක විශිෂ්ට සබඳතාවය අදටත් ලොව හොඳම 9 වන කඩුල්ලට හිමි සබඳතාවය වේ. එහිදී ලසිත් මාලිංග ලබාගත් ලකුණු 56 අදටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 වෙනි පිතිකරු ලෙස පැමිණ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. එසේම ඉන්දියානු පි‌‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවමත් වැඩිම කඩුලු ලාභියා වන්නේ ලසිත් මාලිංගයි. එම කඩුලු සංඛ්‍යාව 170 වකි. එසේම ලෝක කුසලාන තරගාවලි තුළ ලොව 3වන වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංග වේ.

2014 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව හා අවසන් මහා තරගයේ නායකයා වුයේ ද ලසිත් මාලිංග යි. ඔහුගේ අනුදැනුම යටතේ ඉන්දියාව පරාජය කර ක්‍රිකට් ලෝක කුසලනයක මිහිර විදගැනීමට අපට හැකිවිය. එහිදී ඔහුගේ පන්දු යැවීම හා පන්දු පිටිය සැකසීම ඉතා විශිෂ්ට අන්දමක පැවතිණි. අදටත් අවසන් පන්දුවාර කිහිපය විශ්වාසයකින් යුතුව යැවිය හැකි ලොව හොදම පන්දු යවන්නා වන්නේ මාලිංගයි.

ලසිත් මාලිංග ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක් ලබාගෙන ඇති අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 33.15 ලෙස සැලකිය හැකිය. එසේම එක්දින තරඟ 225කට ක්‍රීඩා කර තිබෙන මාලි එහිදී කඩුලු 335ක් දවාගෙන ඇති අතර එහි පන්දු යැවීමේ සාමානය 29.02 ලෙස සටහන් වේ. එක්දින ක්‍රීඩා දිවිය තුළ ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ලකුණු 38 ට කඩුලු 6ක් වේ. එසේම එක්දින තරඟවලදී තරඟ 225ක් තුළ පිත්තෙන් ලකුණු 561ක් ලබාගෙන තිබේ.

එක්දින ක්‍රිකට් දිවියට සමුදීමට සැරසෙන මෙම අපූර්ව ක්‍රීඩකයාගේ අවසන් මහා තරඟය දැක බලා ගැනීමට විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්වනු බව නොවනු මානය. නැවතත් ඔහුගේ යෝකර් පන්දු එක්දින පිටිය තුළ දැකගැනීමට නොහැකි වේවි. ලක්මව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකරන ලද යෝකර් ලොවේ රජු හෙවත් මාලිගේ සමුගැනීම ක්‍රිකට් වලට ආදරය කරන කාගේත් සිත් වලට දැඩි වේදනාවකි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *