පරිණාමයට මගහැරුණු සමලිංගිකත්වය

READ IN 3 MINS

චාලිස් ඩාවින් ඉදිරිපත් කළ, බහුතර විද්වතුන්ගේ පිළිගැන්මට ලක්වූ පරිණාමවාදය සියලුම ජීවීන්ගේ ප්‍රාථමික අවදියේ සිට සංකීර්ණ බහුකාර්ය සත්වයෙකු බිහිවීම දක්වා පැහැදිළි කරනවා. එලෙස බිහිවෙන සත්වයන් ප්‍රජනය හරහා ඉදිරි පරම්පරා බිහිකරමින් තම වර්ගයා ඉදිරියට ගෙන යනවා.

සෑම සත්ව වර්ගයක්ම මිහිමත හටගැන්මේ සිටම වර්ගයා බෝ කරමින් තම ජාතිය ඉදිරියට පවත්වාගැනීමට විරුද්ධ ලිංගික ආකර්ෂණය සහ ලිංගික සංසර්ගය උපයෝගි කරගත්තා. ප්‍රාථමික අවදියේ සිටින සෛලික ජිවීන් කිහිපයක් ඇරෙන්න අනෙක් සෑම සත්වයෙක් තුළම විරුද්ධ ලිංගික ආකර්ෂණය දැකගත හැකියි.

නමුත් මිනිසා ඇතුලුව අනෙක් බොහෝ සත්ව වර්ග අතර සමලිංගික ආකර්ෂණයක් ඇති සත්වයින් දැකගත හැකියි. සමලිංගිකත්වය යනු එකම ලිංග සහිත අය අතර ඇති වෙන ලිංගික ආකර්ෂණයයි (පිරිමි-පිරිම අතර සහා ගැහැණු-ගැහැණු අතර). සත්වයා මුලින්ම හටගත් වසර බිලියන ගණනකට පෙර කාලයේ සිටම සමලිංගිකයින් සිටි බවට සාක්ෂි නැහැ. නමුත් වසර දහස් ගණනක සිට බොහෝ සත්ව වර්ග තුළ සමලිංගික චරියා අන්තර්ගත වෙලා තිබෙනවා.

පරිණාමවාදය සහ සමලිංගිකත්වය

පරිණාමවාදයේ මූලික කරුණක් තමයි “Survival of the Fittest” නැතිනම් ශක්තිවන්තයා නොනැසී රැකීම. ඒක අපිට අපේ දෑසින්ම බොහෝ සත්ව වර්ග තුළ දැකගත හැකියි. උදාහරණයක් විදිහට කොටියෙක් මුවෙක්ව දඩයම් කරන විට කොටියාට වඩා වේගයෙන් දිවිය හැකි ශක්තියක් තිබෙන මුවන් පමණක් ජීවිතය බේරගෙන අනෙක් මුවන් කොටියා අතින් මරණය පත්වීම. මිනිසුන් අතර ගත්තොත් එක් එක් වසංගත රෝග වැළදුනු විට දුර්වල ප්‍රතිශක්තියක් ඇති මිනිසුන් මියයෑම, ලිංගික ශක්තිය අඩු මිනිසුන්ට අනාගත පරම්පාරා බිහි කිරීමට නොහැකිවීම වගේ කාරණා.

එලෙස බැලුවොතින් සමලිංගිකයන්ටද අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකියි. එසේ නම් සමලිංගික ලක්ෂණ පරම්පරා දිගේ ඉදිරියට ඇදුනේ කෙසේද? පරිණාමය වීමේදී ඔවුන් තවමත් ඉතිරි වී සිටින්නේ කෙසේද?

සමලිංගිකත්වය උපතින්ම එන දෙයක් ද?

සමලිංගික සත්වයින් නොනැසී ඉතිරීවී සිටීම තවමත් විද්‍යාඥයින්ට සම්පුර්ණයෙන්ම නොවිසදුන ප්‍රෙහේළිකාවක්. නමුත් සමලිංගිකභාවය සමහරුන්ට උපතින්ම එන දෙයක් කියලා University of Lethbridge, Canada හී විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. මව් කුසේ පිළිසිද ගත් කළලයේ X ක්‍රෝමසෝමයේහි “Xq28” කියන ප්‍රදේශය සමලිංගිකභාවයට හේතු වෙනවා කියලා සොයාගෙන තිබෙනවා. ඒ වගේම මව් කුසේ සිටින කාලය තුළ පිරිමි දරුවෙකුගේ මොළයේ ලිංගිකත්වයට අදාළ කොටස කාන්තා හෝමෝන වලට වැඩියෙන් නිරාවරණය වීමෙන් පිරිමි සමලිංගිකයෙකු ද, ගැහැණු දරුවෙකුගේ මොළයේ ලිංගිකත්වයට අදාළ කොටස පිරිමි හෝමෝන වලට වැඩියෙන් නිරාවරණය වීමෙන් කාන්ත සමලිංගිකයෙකුද හටගැනීමට ඉඩ තිබෙනවා. ඒයින් පේනවා සමලිංගිකබව පරිණාමයේදී ජානමය වශයෙන් නොපැමිණියත් නියත වශයෙන්ම දරුවෙක් මව්කුස තුළදී නිරාවරණය වන හෝමෝන හේතුවෙන් උපතේදීම සමලිංගිකයෙකු වීමට යම් කිසි ප්‍රතිශතයක හැකියාවක් තිබෙන බව. ඒ නිසා පරිණාමවාදයෙන් “සමලිංගිකත්වය” කියන කරුණ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න අපහසුයි.

සමහර කාන්තාවන් සමලිංගික වීම අවම වශයෙන් 25% ජානමය බැලපෑමෙන් සිදුවෙන දෙයක්. එය 2011 දී එංගලන්තයේදී නිවුන් කාන්තාවන් උපයෝගී කරගෙන කරපු පර්යේෂණයකදී සොයාගෙන තිබෙනවා. තවද පිරිමින්ට වඩා කාන්තාවන් සමලිංගිකයින් වීමට වැඩි හැකියාවක් තිබෙනවා. සමාජීය, සංස්කෘතික, අතීත හොඳ-නරක අත්දැකීම් සහ විවිධ හැඟීම් ඊට හේතු විය හැකි බව වසර 10ක් පුරාවට University of Utah හි මනෝවිද්‍යාඥ Lisa Diamond විසින් පැවැත්වූ පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

සමලිංගිකත්වයට මානසික බලපෑමක් තිබේද?

සමලිංගිකබව කිසිසේත්ම මානසික රෝගයක් නොවන බව බහුතර මනෝවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එය කලින් මම ඔබට පෙන්වා දීපු ජීව විද්‍යාත්මක කාරණා වලිනුත් පෙනී යනවා. නමුත් කුඩා කාලයේ සිටම අත්විඳීමට සිදුවන සිදුවීම් වැඩිවියට පත්වීමේදී සමලිංගික බවට හේතුවක් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩා කාලයේ විරුද්ධ ලිංගිකයෙකු අතින් අතවරයට පත්වුනු කෙනෙක් වැඩි වියට පත්වන විට අතීත බිහිසුණු අත්දැකීම හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි බියෙන් සමලිංගිකයෙක් වීමට හැකියි.

තවද ලන්දේසී ජාතික මනෝවිද්‍යාඥයන් විසින් Journal of Sexual Medicine හී ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව කියැවෙන්නේ 10% – 12% අතර ගැහැණු සහ පිරිමි ළමුන් තමන්ට උපතින් ලැබුණු ලිංගිකත්වය ගැන මානසිකව ඇතිවෙන අපහසුතා නිසාවෙන් ද, 1% – 2% අතර ගැහැණු සහ පිරිමි ළමුන් තමන්ට උපතින් ලැබුනු ලිංගිකත්වය කුමක් උවත් ආශාවට සහ තාමාගේ කැමැත්තෙන්ම සමලිංගිකයින් ලෙස ජීවිතය ගත කිරීමට තෝරාගන්න බවයි.

“සමලිංගිකයෝද මනුෂ්‍යයෝය”

1960 දශකයේ පටන් සමලිංගික උදවිය විසින් බටහිර රටවල සමලිංගික අයිතීන් සුරැකීමට ගෙන ගිය විප්ලවය හේතුවෙන් බොහෝ රටවල සමලිංගිකයින්ට සම අයිතිවාසිකම් සහ විවාහ වීමට අවසර ලැබුණා. ඊට පෙර වසර සිය ගණනක් පුරාවට විවිධ ආගමික හා සමාජීය හේතූන් මත සමලිංගිකයින්ට බොහෝ අඩන් තේට්ටම් සහ මරණයට පවා මුහුණ දීමට සිදුවුණා. උදාහරණයක් විදිහට දෙවැනි ලෝක යුධ සමයේදී නවීන පරිගණකයට අඩිතාලම වැටීමට හේතුවූ Turing Machine එක සොයාගත් Alan Turing සමලිංගිකයෙකු වීම නිසා බ්‍රිතාන්‍ය රජයෙන් ඔහු අපරාධකරුවෙකු ලෙස නම් කර ලබාදුන් හෝර්මෝන ප්‍රතිකාර වල අතුරුඵලයක් ලෙස ඔහු සිය දිවි නසාගත්තා. ඔහුගේ මරණයෙන් වසර 59 පසු 2013 වසරේදී දෙවැනි එලිසබෙත් රැජින විසින් ඔහුව අපරාධකරුවෙකු යන නාමයෙන් නිදහස් කොට රාජකීය සමාව ලබා දුන්නා.

ඉතින් ලංකාවේත් සමලිංගික අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනෙක් ආගම්, ධර්මයන් ගැන නම් මම දන්නෙ නැහැ. හැබැයි මම බෞද්ධයෙක් විදිහට අහලා තියෙන්නෙ “සියලු සත්වයෝ නිදුක් වෙත්වා” කියලා මිසක් “සමලිංගිකයෝ හැර අනෙක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා” කියලා නෙවෙයි. ඒ නිසා ඔවුන්ට කරුණාවක් දක්වන්න අකමැති නම් අකාරුණික නොවී හෝ සිටින්න. තමන්ගේ පෞද්ගලික කැමති අකමැති කම් උඩ වෙනත් කෙනෙක්ව පිළිකුල් කරනවා කියන්නේ හරියට තමන් diet කරද්දී වෙන කෙනෙක් pizza කනවා දැකලා ඔහුට ඒකට බනිනවා වගේ වැඩක්.

තවත් වෙනස්ම ලිපියකින් නැවත හමුවෙමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *