සන්තූර් – ජම්මු කාෂ්මීරයේ සැඟව තිබූ සංගීත භාණ්ඩය

READ IN 5 MINS

මගේ පළමු ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලියැවෙන්නේ උත්තර භාරතීය සංගීතයේ එන ආකර්ෂණීය සංගීත භාණ්ඩයක් ගැන. මතකය අවුස්ස-අවුස්සා තමයි මම මේ වචන ගැටගහන්නේ, අපි බලමු මේ සංගීත භාණ්ඩය ගැන සවිස්තරව කතා කරන්න.

 ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ පාරම්පරික ජන සංගීත භාණ්ඩයක් ලෙස තමයි මේ සංගීත භාණ්ඩය අතීත කාලයේ ඉඳලා පැවතුණේ. ගොඩාක් අය කියන්නේ මේ සංගීත භාණ්ඩයේ ඉතිහාසය වේද යුගය දක්වා ම දිවෙනවා කියලා. 

මම දැන් සංගීත භාණ්ඩය, සංගීත භාණ්ඩය කියනවාට වැඩිය නම කියන එක ලේසි නිසා නම කියන්නම්. මේ සංගීත භාණ්ඩය තමයි ‘සන්තූර්’ කියන්නේ. දැන් ඔන්න පටලගන්න එහෙම එපා සන්තූර් කියන සංගීත භාණ්ඩය ගැන මිසක් මෙන්න මේ සබන් වර්ගය ගැන එහෙම නෙවෙයි අපි කතා කරන්නේ.

සිංහලයට එනකොට සන්තුරය කියලාත් කියවෙනවා. ‘ය’ යන්නක් ඕනෙ නැහැ සන්තූර් කියලා ම කියමු. මොකද මේ අපේ වචනයක් නෙවෙයි නිසා.

භාරතීය සංගීතයේ වීණා කියන වචනය ප්‍රසිද්ධ යි. අපිට එහෙම කියනකොට ම මතක් වෙන්නේ “වීණාව කියන්නේ සරස්වතී දේවී අතේ තියන්නේ ඒක නේද ?” කියලා. තත් වාද්‍ය භාණ්ඩ ඕනෑම එකකට අතීතයේ වීණා කියලා තමයි නම දීලා තියන්නේ. පැරැණි ම වීණාව තමයි ‘පිනාකී වීණා’ කියලා කියන්නේ. දුන්නෙන් ඊතලයක් විද්දට පස්සේ ඇහෙන ශබ්දය මුල් කරගෙන මේ පිනාකී වීණාව නිර්මාණය කළා කියලා සැලකෙනවා. සංස්කෘත භාෂාවෙන් ‘පිනාක්’ කියන්නෙ දුන්න. ඒ නිසා ඒ නම යෙදිලා තියනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති සන්තූර් සහ පිනාකී වීණාව අතර තියන සම්බන්ධය මොකක්ද කියලා. වීණා කියන භාණ්ඩ කුලකයේ තිබුණ එක් වීණාවක් තමයි ශතතණ්ත්‍රී වීණා කියලා කියන්නේ. ‘සියක් තත් ඇති’ කියන අදහසින් තමයි මේ නම යෙදෙන්නේ. මෙන්න මේ ශතතණ්ත්‍රී වීණාව අද වර්තමානයේ සන්තූර් ලෙස භාවිත වෙනවා කියලා තමයි පිළිගැනීම තියන්නේ. සන්තූර් කියන නම ෆාර්සී බසින් (පර්සියානු භාෂාවෙන්) මෙහෙම අර්ථ ගන්වන්න පුළුවන්. 

සන් = සියය /  තූර් = තත්, 

එහෙම නම හැදුණු මෙම සංගීත භාණ්ඩය මොන වාගේ ද කියලා අපි බලමු. මොකද කොහේ දී හරි දැක්කොත් සබන් කැටයට කළින් සංගීත භාණ්ඩය අඳුරගන්න හරි මේ සන්තූර් භාණ්ඩය දැකලා තියෙන්න එපැයි. ඊට පස්සේ අපි සන්තූර් හි කොටස් අඳුරගන්නත් උත්සාහයක් දෙමු.

මේ සංගීත භාණ්ඩය ට්‍රැපීසියම් හැඩයෙන් යුක්ත යි. පෙට්ටියක ආකාරයට තමයි ඒ හැඩය තියන්නේ. ඇතුළත කුහරයකින් යුක්ත යි. දකුණු පසින් සුසර කිරීමට යොදා ගන්නා වානේ කූරු දැක්වෙනවා. මේ ඉහත රූපයේ නොපෙනෙන පැතිකඩ, සන්තුර්‍ හි වම් පස කුඩා වානේ ඇණ යොදලා තමයි තත් බැඳලා තියන්නේ. එහෙම බැඳලා තියන තත් දකුණු පස තියන වානේ කූරු දක්වා ඇදලා ගැටගහලා තමයි තියන්නේ. ඒක නිකම් ගැටයක් නෙවෙයි සංගීතමය ගැටයක්. ලණු ගැටගහනවා වගේ නෙවෙයි. 

ඒ අතරමැද ‘තබ්ලී’ කියලා නම් කරලා තියන ලී පෙට්ටියේ මතුපිට ‘ජවාරී’ නම් ලීයෙන් කරවන ලද තත් රඳවන දකින්න පුළුවන්. රඳවන 25 -31 අතර ප්‍රමාණයක් දකින්න තියනවා සාමාන්‍ය සන්තුර්‍ භාණ්ඩයක. තත්වල ආනතිය වමෙන් දකුණටත්, දකුණෙන් වමටත් මාරුවෙන් මාරුවට තියන්නේ. ඒක නිසා සන්තූර වාදනය ටිකක් නෙවෙයි ගොඩාක් දුෂ්කරයි. බිම වාඩි වෙලා, ඒකට නියමිත ආසනයෙන් සාමාන්‍ය ශාස්ත්‍රීය සන්තුර්‍ වාදනයක් පැයකට නොඅඩු කාලයක් පුරා දිවෙනවා.

සන්තූර් වාදනය කෙරෙන්නේ ‘ක්වාලම්’ නැමැති උපකරණයෙන්. (හින්දි බසින් ‘කලම්’ කියන්නේ නම් පෑනට.)  ඒක ඇත්දළවලින් හෝ ලීයෙන් තමයි කැටයම් කෙරෙන්නේ. ට්‍රැපීසියම් පෙට්ටිය නැත්නම් නාද පෙට්ටිය හදන්නේ සාමාන්‍යයෙන් මෙහි සඳහන් විදියට මල්බෙරි ලීයෙන්. ජවාරී කියන තත් රඳවන හදන්නේ රෝස්වුඩ් කියන ලී වර්ගයෙන්. 

සාමාන්‍යයෙන් මෙහි එක් ස්වරයකට තත් 3 බැගින් තියනවා (සම්ප්‍රදායික). ඇතැම් අවස්ථාවල දී මන්ද්‍ර ස්වරවලට තත් තුනක්, මධ්‍ය ස්වරවලට තත් 2ක් සහ උච්ච ස්වරවලට තත බැගිනුත් යෙදෙනවා. මම ඇස් දෙකට දැකලා තියන සන්තුර්‍වල මේ කියන තත් ප්‍රමාණය වෙනස් විදියට භාවිත කරන අවස්ථා ද තිබිලා තියනවා. වාදකයාගේ කැමැත්ත තමයි. සම්ප්‍රදාය තමයි මම කළින් සඳහන් කළේ.

ඔන්න ඔය උඩින් තියන්නේ ජම්මු – කාෂ්මීර් ප්‍රාන්තයේ හිම සහිත කඳුකර ප්‍රදේශයක ඡායාරූප දෙකක්. සංචාරක කර්මාන්තයත් බොහොම සරුවට කෙරෙන, හිමෙන් වැහෙන, පිරිසිදු ජලය සහිත ගංගා උල්පත් තියෙන, නිම්න මිටියාවත්වලින් පිරුණු ලස්සන ප්‍රදේශයක් තමා ජම්මු – කාෂ්මීර් කියන්නේ. සන්තූර් භාණ්ඩය මෙහි උපත ලැබුවා කියලානේ කියන්නේ. 

මගේ මතයට නම් මේ භාණ්ඩයේ හඬ හිම පියලිවල සෞන්දර්‍යාත්මක බව නිරූපණය වන විදියට තමයි නිර්මාණය වෙලා තියන්නේ. ඒ තරම් කන්කලුයි. සියවස් ගණනාවක් මේ ප්‍රදේශයේ ජන සංගීතයට සහාය වාද්‍ය භාණ්ඩයක් ලෙස තමයි සන්තූර් භාවිත වෙලා තිබුණේ. 

‘සුෆියානා ම්‍යූසික්වී’ (Sufiana Musiqui) නැත්නම් ‘සුෆියානා සංගීතය’ කියන සුවිශේෂී සංගීත ආරයට තමයි ඒ එදා වාදනය කළේ. සූෆි දර්ශනය සමග ගොඩක් බැඳිලා තියනවා මේ සංගීත භාණ්ඩය අදටත්. ඒ කාලේ රටේ ඇතැම් අය මේ භාණ්ඩය දැකලාවත් නැහැ. නමුත් මෙම සංගීත භාණ්ඩය ඒකල වාද්‍ය භාණ්ඩයක් ලෙස කරළියට ඇවිත් අවුරුදු 100ක් නැහැ. ඒ කතාවට මුල පුරන ශ්‍රේෂ්ඨ චරිත ගැන අපි දැන් බලමු.

ජම්මු හි සිටි ‘පණ්ඩිත් උමා දත් ශර්මා’ නම් වූ සංගීතඥයාගේ (ගායකයෙක්, වාදකයෙක්; තබ්ලා, දිල්රුබා, හාර්මෝනියම්) සිතේ තිබූ අදහසක් තමයි මේ ජන සංගීත භාණ්ඩය ශාස්ත්‍රීය පදනමකින් ඒකල සංගීත භාණ්ඩයක් ලෙස ප්‍රසිද්ධ කරවන එක. ක්‍රි.ව.1938 ජනවාරි 13 ඔහුට දාව ඉපදුණු පුතා තමයි අද ලෝක ප්‍රසිද්ධ අග්‍රගණ්‍ය සන්තූර් වාදන ශිල්පියා, පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා. තාත්තා අවුරුදු 5 දී පුතාට ගායනය සහ තබ්ලා වාදනය උගන්වන්න පටන් අරගෙන තියෙනවා. තාත්තා ගායනය හැදෑරුවේ බණාරස් ඝරාණාවේ (ගුරුකුලයේ) පණ්ඩිත් බඪේ රාම්දාස් කියන අසහාය ගායන ශිල්පියාගෙන්. 

පණ්ඩිත් උමා දත් ශර්මා වෙත ජම්මු-කාශ්මීර් හි ශ්‍රී නගර් නම් වූ නගරයේ ගුවන්විදුලි සේවයේ සංගීත අංශය 1950 දශකයේ මුල් භාගයේ දී භාර වෙනවා. ඊට පස්සේ එතුමා මොකද කරන්නේ, සන්තුර්‍ භාණ්ඩය ගැන පුළුල් අධ්‍යයනයක් කරලා තමන්ගේ පුතාට, ශිව් කුමාර් ශර්මාට උගන්වන්න පටන් ගන්නවා. එතකොට පුතාට අවුරුදු 13ක්. (ක්‍රි.ව.1951දී)

ශිව් කුමාර් ශර්මා මෙම සංගීත භාණ්ඩයට ගොඩාක් කැමති වෙනවා. ඒක නිසා ම ඔහු තමන්ගේ ප්‍රධාන විෂය ලෙස වැඩිදුර අධ්‍යාපනයට තෝරගන්නේ දුෂ්කර වූ, සන්තුර්‍ භාණ්ඩය. එයට හේතුව තමන්ගේ පියාගේ බලාපොරොත්තුව සහ මගපෙන්වීම. එතෙක් ඉන්දියාවේ කිසි ම තැනක ශාස්ත්‍රීය සන්තූර් ඒකල වාදනය සිදු කරලා නැහැ. ක්‍රි.ව.1955 දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වගේ ම, ඉන්දියාවේ වෙළඳ අග නගරය වන මුම්බායි හී දී ශිව් කුමාර් ශර්මා තමන්ගේ පළමු සන්තුර් වාදන ප්‍රසංගය ඉදිරිපත් කරනවා. ක්‍රි.ව.1960 දී එතුමා තමන්ගේ පළමු ශාස්ත්‍රීය වාදන ඇල්බමයත් නිකුත් කරනවා. 

එතකොට ශාස්ත්‍රිය ඒකල සන්තූර් වාදනයක් පළමුව ම ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ එතුමාට ද? ඔව්!

ඊට කලින් ශාස්ත්‍රීය ඒකල සන්තුර් වාදන තිබිලා නැද්ද? නැහැ! 

හේතුව මොකක්ද? සන්තූර් සුෆියානා සංගීතයට සහ කාෂ්මීර් ජන සංගිතයට භාවිත කරපු සහාය වාද්‍ය භාණ්ඩයක් පමණයි. 

සන්තූර් භාණ්ඩයට ආවේණික වාදන ශෛලියක් තිබුණා ද? ඔව්!

ඊළඟ කොටසෙන් වාදන ශෛලිය ගැනත් සන්තූර් වර්ග සහ තවත් දේවල් ගැන කතා කරමු..

එහෙනම් අදට මෙතනින් සමුගන්නවා.

තුන් සරණයි !


You may also like...

5 Responses

  1. Prabha dandeniya says:

    Good luck brother, keep it up, 🌸🙏

  2. Tharanga says:

    Good luck brother..Expecting more articles from you..

  3. Gayashan Lakshitha says:

    Good luck Aiya…! Thank u..🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *