සන්තූර් – ජම්මු කාෂ්මීරයේ සැඟව තිබූ සංගීත භාණ්ඩය (02 කොටස)

READ IN 7 MINS

මේ ලිපිය කියවන හැමෝම කලින් ලිපිය කියෙව්ව ඇති කියල හිතනවා..එහෙම නැතිනම් මෙන්න මෙතනින් ඒක කියවන්න පුළුවන්..

පළවෙනි කොටසෙදී අපි වාදන ශෛලිය ගැනත් සන්තූර් වර්ග සහ තවත් දේවල් ගැන දෙවැනි කොටසින් කතා කරමු කියලා තමයි ආටිකල් එක අවසන් කරේ.

අපි දැන් සන්තූර් භාණ්ඩයට ආවේණික වාදන ශෛලීන් ගැන බලන්න කලින් සන්තූර් වර්ග ගැන බලමු. ඇත්තට ම මේවා සිදර් (Zither) වර්ගයේ භාණ්ඩවලට තමයි අයත් වෙන්නේ.  මට හම්බවුණු වර්ග නම් 5 ක් තියනවා. ඒවා ඔක්කෝම ක්වාලම් වගේම උපකරණයකින් වාදනය කරන ඒවා. සිදර් වර්ගයේ භාණ්ඩ නම් ගොඩාක් තියනවා , නමුත් මම මෙතන දක්වන්නේ අර කලින් කිව්වා වගේ යකුළකින් ප්‍රහාර එල්ල කර ශබ්දය නිපදවා ගන්නා සංගීත භාණ්ඩ විතරයි. මම මෙතන නම සඳහන් කරනවා ඒත් එක්ක ම Youtube Link එකක් සඳහන් කරනවා එතකොට මේ කියන දේවල් හරියට ම මොනවාද කියලා බලාගන්න ඔයාට ම පුළුවන්.

නැත්නම් ඉතින් මම කියවනවා කියවනවා විතරයි නේ !

  1. පර්සියානු සන්තූර් (ඉරාන සන්තූර්)

මෙහි හැඩය වෙනස්. දිගින් අඩු පළලින් වැඩි ස්වභාවයක් තියන්නේ. හඬත් තියුණුයි. අරාබි සංගීතයේ ආභාසය තියෙනවා කියලා දැනෙනවා මෙහි හඬ ඇහෙනකොට ම.

https://www.youtube.com/watch?v=95amB7kUu-k

2. ඉන්දියානු සන්තුර් (කාෂ්මීරී සන්තූර්)

ඒ භාණ්ඩය ගැන තමයි අපි දිගට ම කතා කළේ සවිස්තරාත්මකව. මේ ගැන බලන්න අවශ්‍ය Youtube Link මම පස්සේ දෙන්නම්.

3. හැමර්ඩ් ඩල්සිමර් (Hammered Dulcimer)

සිතර් (Zither) කියන භාණ්ඩ කුලකයට අයත් මේ සංගීත භාණ්ඩය සන්තූර් එක වගේ ම යි. නමුත් මේකේ පරිමන්දකයක් (Damper) දකින්න පුළුවන්. ඒකෙන් පියානෝවකින් නැගෙන ගති විඥානය (Dynamics) ලබා ගන්න පුලුවන්. මවුන්ටන් ඩල්සිමර් කියලා තව භාණ්ඩයක් තියෙනවා ඒක ගිටාර් එකක් වගේ මේකට සමාන නැහැ. පටලගන්න එපා. මුලට ඩල්සිමර් එකේ වර්ගය සඳහන් කරන්න ම ඕනෙ ඒ නිසා.

https://www.youtube.com/watch?v=ayAvzVdOJJY

00.22 – 00.25 අතර කාලය හොඳට බලන්න ඒක තමයි මේ භාණ්ඩයේ වෙනස

4. සිම්බලොම් (Cimbalom)

https://www.youtube.com/watch?v=LLD05_pC8TY

මේ මම දැකලා තියන හොඳම වාදනයක් වගේම ඔබ කල්පනා කරලා බලන්න එක වගේම තියන තත් සිය ගණනක් අතරේ නිවැරදි ස්වරය හොයාගෙන මේ තරම් වේගයෙන්, පිරිසිදුව, කන්කලුව, වාදනය මොන තරම් දුෂ්කර ද කියලා.

5. යැන්ග්ක්වින් (Yangqin)

https://www.youtube.com/watch?v=d77Q2OhAs7c

මේක අහනකොට ඔයාලට ම තේරෙයි මේක අයිති කොහෙට ද කියලා! සරලව ම කිව්වොත් ප්‍රසිද්ධ ම වාක්‍ය තමයි Made In China . මේ වීඩියෝව ඔස්සේ ඔයාලට පෙර අපි කතා කරපු භාණ්ඩ හැම එකේම භාවිත වන පොදු නාද උත්පදන ක්‍රම දක්වලා තියනවා.

දැන් අපි කතා කරමු සන්තූර් භාණ්ඩයේ වාදන ක්‍රමය ගැන. 

සන්තූර් භාණ්ඩය අයිති වෙන්නේ භාරතීය සංගීත භාණ්ඩ වර්ගීකරණයට අනුව තත් වාද්‍ය භාණ්ඩ ගණයට. තත් වාද්‍ය භාණ්ඩ අතීතයේ වාදනය කලේ ගත්කාරි කියන ක්‍රමයට. ඒ කියන්නේ, ගායනය සඳහා තිබුණ රාග ගීත වෙනුවට, එම රාගයට අදාළ ව, භාණ්ඩයට උචිත පරිදි සකක් කරගත් ස්වර රචනාවක්. හැබැයි වචන නැහැ. සිතාර් සහ සරෝද් කියන භාණ්ඩ දෙකෙන් තමයි මේ ගත්කාරී ක්‍රමය ඇරඹෙන්නේ. ගත්කාරී ක්‍රමයට අයත් ගත් වර්ග කිහිපයක් තියනවා, ප්‍රසිද්ධ ම දෙක තමයි,

  1. මසීත්ඛානී ගත් විලම්බීත්ලය සඳහා රචිත ගත්
  2. රසාඛානී ගත් – මධ්‍ය සහ ධෘතලය සඳහා රචිත ගත්

(මේවාට නියමිත විස්තර ගොඩාක් තියනවා. ඒවා මෙතැන දී මම කතා කරන්නේ නැහැ.) 

මීට අමතරව මම අහලා තියනවා ෆිරෝස්ඛානී ගත් සහ අමීර්ඛානී ගත් කියලා වර්ග දෙකක් හැබැයි ඒ දෙක ගැන වැඩි විස්තර හමු වුණෙත් නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වර්ග දෙක විතරක් දැනගමු. 

දැන් කවුද ඉස්සෙල්ලා ම ශාස්ත්‍රීය සන්තූර් වාදනයකට මුල පිරුවේ?

පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා! 

එතුමාගේ පියාගේ නම මොකක් ද ? එතුමා කුමන ආකාරයේ සංගීතඥයේක් ද?

පණ්ඩිත් උමා දත් ශර්මා; ගායකයෙක් වගේම වාදකයෙක්.

අපිට අවශ්‍ය වැදගත් කරුණක් තමයි ඒක. ඇයි? පණ්ඩිත් උමා දත් ශර්මා ගායකයෙක්. ගායනයේ දී උගන්වනවා ප්‍රාචීණ, ඒ කියන්නේ පැරැණි ගායන ශෛලියක්; ධෲපද් කියලා. ඒක බොහොම ගාම්භීර වගේම අසීරු ගායන ශෛලියක්. කතාවටත් කියන්නෙ ධෲපද් එකක් ගායනා කරන්න අම්බරුවෝ 7 දෙනෙක්ගේ හයි හත්තිය ඕනෙ කියලා.

(https://www.youtube.com/watch?v=0dqUHAvfnIw) (මේ තියන්නේ ධෲපද් ගායනයක වීඩියෝවක්. බලන්නකෝ මොන තරම් වෙහෙසක් ද, කල්පනාවක් ඕනෙද කියලා සහ කොයි තරම් ගාම්භීරයි ද කියලා. ඒ වගේම සුමට තැන් ද තියනවා.)

පණ්ඩිත් උමා දත් ශර්මා පුතාට ගායනය ඉගැන්නුවා පොඩි කාලේ දී ම. පුතා නැත්නම් අපි දන්න පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා මොකද කලේ ? මේ ධෲපද් කියන ගායන ශෛලියේ එන කොටස් සහ ඛ්‍යාල් කියන ගායන ශෛලියේ එන කොටස් කළින් කිව්ව ගත්කාරී අංග එක්ක එකතු කරලා සන්තූරයට ආවේණික වාදන ශෛලියක් නිර්මාණය කළා. ධෲපද් ගායනයේ තියෙන නෝම්-තෝම් ආලාප ක්‍රමය, ලයකාරී ආදිය ඛ්‍යාල් සහ ගත්කාරී ක්‍රමයේ සියලු ම අංග එකතු කරලා එතුමා නිර්මාණය කරපු සන්තූර් වාදන ශෛලිය එම භාණ්ඩයට මනා ලෙස ගැළපුණා වගේ ම අහගෙන ඉන්න ඉතා ප්‍රිය වුණා.

සන්තූර් වාදනය කෙරෙන්නේ මොකෙන් ද? ක්වාලම් යුගලයෙන් 

ක්වාලම් කියන්නේ වයලින් අළුව (බෝ) එක වගේ එකක් නෙවෙයිනේ. සිතාර් වාදනය කරන මිස්රාබ් එක වගේ එකකුත් නෙවෙයි. ඒක ලී හෝ ඇත් දළවලින් හදපු තරමක් දිග, ආනතියක් සහිත අගකින් යුත්, ග්‍රහණයේ පහසුව සඳහා මිටක් වැනි කොටසක් සහිත, කූරක් වැනි උපකරණයක්. හරියට ම මෙන්න මේ වගේ.

මෙම උපකරණය ග්‍රහණය කරන ක්‍රමයක් තියනවා. නමුත් ඇතැම් අය එය නොසලකා හැරලා, මැජික් යෂ්ටියක් අල්ලනවා වගේ ක්වාලම් යුගලය ග්‍රහණය කරන අවස්ථාත් තියෙනවා. එතකොට ඒක වැරදියි. ඒ ගැන දැන් බලමු. මම පහළින් දක්වන්නේ ශාස්ත්‍රීය සන්තූර් වාදනයේ දී ක්වාලම් යුගලය ග්‍රහණය කරන ආකාරයේ නිවැරදි වැරදි බව බවත්, අනෙකුත් සිදර් පවුලේ සංගීත භාණ්ඩවල උපකරණ ග්‍රහණය කිරීම ගැන නොවන බව තරයේ සිහි තබාගන්න.

නිවැරදි ක්‍රමය

වැරදි ක්‍රමය

අපි දැන් කතා කරමු ඇයි ඒක වැරදි කියලා. හේතුව තමයි මේ භාණ්ඩයට වාදන ඉරියව්වක් තිබුණා පාරම්පරිකව. ඒක අධ්‍යයනය කරලා පණ්ඩිත් උමා දත් ශර්මා විසින් තමන්ගේ පුතාට ඉගැන්නුවේ මේ භාණ්ඩය ශාස්ත්‍රීය සංගීතයට ගෙන්න ඕනෙ නිසා. එතකොට භාණ්ඩයට අදාළ ශාස්ත්‍රීය නියමයන් තියෙන්නත් ඕනේ, රැකෙන්නත් ඕනේ.

මැදඟිල්ලත් මහපටැඟිල්ලත් අතර තියන අන්තර් සම්බන්ධතාවය, දබරැඟිල්ල හානි නොවන පරිදි මැද සිට ආරක්ෂා කරනවා. එතකොට තමයි නිවැරදිව අදාළ ශිල්ප ක්‍රම වාදනයට හැකි වෙන්නේ. සිතාර් භාණ්ඩයට ආවේණික ප්‍රහාර (strokes) ද, ර, දා, රා, දිරි ආදිය සන්තූර් භාණ්ඩයෙන් ක්වාලම් මගින් වාදනය වෙනවා. වැඩිපුර ම දකුණු අත තමයි භාවිත වෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ වම් අතට වැදගත්කමක් නැහැ කියන එක. 

හිතූ හිතු විදියට පණ්ඩිත් ශිව් කුමාර් ශර්මාගේ ම ගෝලයින් ක්වාලම් ග්‍රහණය කිරීම ගැන එතුමා වරක් කළකිරීමෙන් මතක් කරලා තියෙනවා. මොකද එතුමා මෙහි ශාස්ත්‍රීය පුරෝගාමියා නිසා. මට නම නම් කියන්න බැහැ මොකද ඒක ඒ භාරතීය සංගීතඥයාට කෙරෙන අගෞරවයක් නිසා. එතකොට මේ කියන උපකරණයෙන් නැත්නම් ක්වාලම් එකෙන් පෙර සඳහන් කළ වාදන ශෛලියට අදාළ ශිල්පක්‍රම සියල්ල වාදනය කෙරෙනවා. (උදා: මීන්ඩ්, මූර්කි, කණ්,ජෝඩ්,ඣාලා, ආදී ලෙස) සන්තූර් වාදනයේ සරල සැකැස්ම මෙසේ දක්වන්න පුළුවන්.

  1. පූර්වාලාප්
  2. ජෝඩ් ආලාප්
  3. ජෝඩ් ඣාලා
  4. මසීත්ඛානී ගත්
    • ස්ථායි
    • මධ්‍යලාප්
    • අන්තරා
    • උපප්තාන්
  5. රසාඛානී ගත්
    • ස්ථායි
    • මධ්‍යාලාප්
    • අන්තරා
    • උපජ්
    • තාන්
    • සවාල්-ජවාබ්
    • ඣාලා
    • තිහායි සහ චක්‍රධාර්

මීළඟට අපි බලමු සන්තූර් භාණ්ඩය සුසර කරන ආකාරය. ඇත්තට ම කිව්වොත් ඒක ගැන කතා නොකරන තරමට හොඳයි මොකද ලෝකේ තියන සුසර කරන්න අමාරුම සහ වැඩි ම වේලාවක් ගත වන සංගීත භාණ්ඩවලින් එකක් තමයි සන්තූර් කියන්නේ. මේ සඳහා ඉතා ම තියුණු කර්ණේන්ද්‍රියක් අවශ්‍ය වෙනවා. මොකද එක ස්වරයට තත් 3 බැගින් තියන නිසා, එක ම හඬ තත් 3න් ම උපදින්නත් ඕනෙ නිසා, තත් 3 ම ඉතා සූක්ෂම ව සුසර කරගන්න ඕනේ.

දැන් ඔය ඉහත දැක්වෙන රූපය අයිති කෙනා කියන්නෙ, එක පැත්තක් කළ්‍යාණ කියන ඨාඨයේ ස්වරවලටත්, අනෙත් පැත්ත භෛරවී කියන ඨාඨයේ ස්වරවලටත් සුසර කරනවා කියලා. හැබැයි සාමාන්‍යයෙන් භාවිතයේ දී දකුණු පස තීරුව තමා වාදනය සඳහා තෝරාගත් රාගයේ ස්වරවලට අනුවයි ඉහළට සුසර කෙරෙන්නේ.

එතකොට රාගෙන් රාගයට සුසර කරන්න ඕනේ ද? ඔව් !

එහෙම නැතුව බැරි ද? පුළුවන්. අනිත් පැත්තක් තියන්නෙ ඒකට තමයි.

හැබැයි ඒ වැඩේ අමාරුයි වාදනය කරන්න ගියා ම. පුරුදු නැත්නම් මොලේ කොලොප්පන් වෙනවා. ඉහත රූපයේ දකුණු පස අයිනේ ම දැක්වෙන්නේ මෙහි තත් සඳහා නිර්දේශිත ලෝහ වර්ගය හා එහි විෂ්කම්භය.

ශාස්ත්‍රීය සන්තූර් වාදන ඉදිරියට ගෙන යෑමේ දී වැදගත් වන චරිත කිහිපයක් ඉන්නවා. අපි ඒ අය හඳුනාගනිමු. පළමුව දැක්වෙන්නේ භාරතීය ශිල්පීන්.

  1. පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා
  2. ආර්. විස්වේස්වරන්
  3. භජන් ලාල් සෝපෝරී
  4. උල්හාස් බාපට් 
  5. තරුණ් භට්ටාචාර්‍යා
  6. රාහුල් ශර්මා
  7. අභය් සෝපෝරී

දැන් අපි බලමු ලංකාවේ සන්තූර් වාදනය කරන්නේ කවුද කියලා.

  1. මහාචාර්‍ය, පණ්ඩිත් කරුණාරත්න කිරිවත්තුඩුව
  2. උපාලි අතුකෝරළ
  3. ආචාර්‍ය රෝහන වීරසිංහ

කිරිවත්තුඩුව මහතා භාරතයේ වසර 30ක් විතර ඉගෙනුම ලබනවා පණ්ඩිත් ශිව් කුමාර් ශර්මාගෙන්. එතුමාගේ වාදන මම ඇස් දෙකට ම දැකලා තියෙනවා වගේම, ළඟ ඉඳලා පරණ කතා, විෂය කරුණු වගේ දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. එතුමා සන්තූර් වගේ ම පඛාවාජ් කියන සංගීත භාණ්ඩයටත්, තබ්ලා, එස්‍රාජ් සහ දිල්රුබා යන සංගීත භාණ්ඩවලටත් එක වගේ ම දස්කම් දක්වනවා. දැනට සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ පඛාවාජ් පිළිබඳ ව බාහිර කථිකාචාර්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. 

ඔව් ! ඔබට නැගුණු ගැටළුව මට තේරුණා. එතුමා සන්තූර් උගන්වන්නේ නැද්ද? අවස්ථාවක් හිමි නොවුණු එතුමා ස්වකීය නිවසේ නිරන්තරව අභ්‍යාසයේ යෙදෙමින් තම සැඳෑ සමය ගත කරනවා. එතුමා තමා මේ විෂය පිළිබඳව ලංකාවේ ඉන්න ප්‍රවීණත ම සහ එක ම ශිල්පියා. ඒත් මොනවා කරන්න ද? මේ ලිපිය පළවෙන දිනයට දින 5කට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා සහ රාහුල් ශර්මා යන අග්‍රගන්‍ය සන්තූර් වාදන ශිල්පීන්ගේ ප්‍රසංගයකුත් පැවැත්වුණා.(2019.08.15)

මෙහි සඳහන් දෙවෙනි වාද්‍ය ශිල්පියා ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න ශිල්පියෙක්. එතුමා ‘ජල තරංග’ කියන වාද්‍ය භාණ්ඩයත් වාදනය කරනවා. තුන්වැනියා නම් හැමෝම දන්නවා. සංගීත අධ්‍යක්ෂ, රෝහන වීරසිංහ මහතා. එතුමාත් සන්තූර් වාදනය කරලා තියනවා කියලා එතුමා මට පවසලා තියෙනවා. දැන් අපි බලමු සන්තූර් කියන වාද්‍ය භාණ්ඩය උපයෝගී කරගත් සරල ගීත කිහිපයක්, හින්දි සහ සිංහල.

  1. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී – ගුණදාස කපුගේ

https://www.youtube.com/watch?v=KJxaJjaY_ck

2. දෙනුවර මින් පසු – සෝමතිලක ජයමහ සහ පුණ්‍යා කත්‍රිආරච්චි

https://www.youtube.com/watch?v=eD9wU_eQA7k

3. E Dil E Nadan – Lata Mangeshkar

https://www.youtube.com/watch?v=Ube5XhN_lpM

4.Tum Agar Saath Dene Ka Vaada Karo – Mahendra Kapoor

https://www.youtube.com/watch?v=XXICci7VtbU

අවසාන වශයෙන් ඉතින් කියන්න තියන්නේ, මේ භාණ්ඩය ලංකාවේ නම් අහන්න දකින්න විරල සංගීත භාණ්ඩයක් නිසා අන්තර්ජාලය හරහා මේ ගැන තව විස්තර හොයන්න. බොහොම ආකර්ෂණීය නාදයක් තියෙන නිසා මේ භාණ්ඩය සංගීත චිකිත්සාව සඳහා භාවිත කරනවා. භාවනා සංගීතය සඳහාත් මේ භාණ්ඩය භාවිත කරනවා. 

මම මේ ලිපියේ දක්වලා තියෙන විස්තරවල අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවා නම් දන්වන්න. මේ ගැන ගැටළු තියෙනවා නම් යොමු කරන්න. සංගීත විෂයෙහි උන්නතිය උදෙසා කළ හැකි සියලු ම දේ කරනවා සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා ඔබගේ නොමද සහාය ද බලාපොරොත්තුවෙන ගමන්, සංගීත විෂය හා සම්බන්ධ තවත් ලිපියකින් හමුවෙන තුරු සියලු දෙනාට ජය පතනවා !

තුණ් සරණයි !

You may also like...

2 Responses

  1. Gayashan Lakshitha says:

    Great work Aiya..! 👍👍👍

  2. Kavindu says:

    Ayye me lipiya hrima vatinva.ehet meke upali athukorala kiyala thiyana nama piyadasa athukorala viya yuthui neda..ethumage vadana mama ahala tynva.nanasa video haraha.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *